Search This Blog

Thursday, August 15, 2013

සිරි දළදා පුරාණය හා සිරිලක අභිමානය


ඓතිහාසික සෙංකඩගල (මහනුවර) පුරවරය කේන්ද්‍රගත කොටගෙන  වාර්ෂිකව පැවැත්වෙන දළදා පුද පෙරහර මංගල්‍යය ජීවමාන ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙස සැලකෙන ශ්‍රී වාම දංෂ්ඨ්‍රා ධාතුන්  වහන්සේ   උදෙසා බුදු පුද පූජෝපාහාර  දැක්වීමටත් නාථ, විෂ්ණු, කතරගම යන දෙවිවරුන්  සේම පත්තිනි දේවමෑණියන්ට පුද පූජෝපහාර දැක්වීමටත් වාර්ෂිකව   පැවැත්වෙන ආගමික හා සංස්කෘතික  මහා පෙරහර   මංගල්‍යයක් Kandy-Peraheraපමණක් නොව  අපගේ පුරාණ  කලා ශිල්පවල හා චාරිත්‍ර වාරිත්‍ර  චර්යාධර්මවල අසිරිමත් බව ලොවට විදහා දක්වන  සාම්ප්‍රදායික අති උත්කර්ෂවත් මහා කලා මංගල්‍යයක් වශයෙන් ලොව ප්‍රකටය.
දළදා පෙරහරේ මූලාරම්භය
දළදා වහන්සේට කරන පුදපූජා අතර දළදා පෙරහර මූලිකත්වයක් ගනී. සිරි මේඝවණ්ණ රජු සමයේ සිට ලක්දිව සාමයෙන් පැවති කාලවල දී දළදා පෙරහර නොකඩවා සෑම වසරක් පාසාම පැවැත්විණි. එකල දළදා  පෙරහර  වර්තමාන  දළදා පෙරහර මෙන් ජාතික කලා  මහෝත්සවයක් නොවීය. එය හුදු ආගමික උත්සවයක් පමණි. එය වර්තමාන තත්ත්වයට පත් වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ  දීය. අනුරාධපුර යුගයේදී දළදා පූජෝත්සවයට අමතරව පැවැත් වූ  ඇසළ පෙරහර ජාතික උත්සවයක් විය. ගජබා  රජු (ක්‍රි. ව. 174-196) සොළී දේශයට ගොස් නීල මහා යෝධයන්ගේ විකුම් දක්වා ලද  ඒ විජයග්‍රහණයත්,  ඒ ගමනේදීම ලක්දිවට රැගෙන එන ලද පත්තිනි සලඹ පිදීමත්, එකී ඇසළ උත්සවයේ මූලික අරමුණු විය. එකල එය නැකත් කෙළියක් ලෙසින් පැවැති ආ බව මහනුවර යුගයේ රචිත “සඟරජ වත” නම් වූ පද්‍ය ග්‍රන්ථයේ එන මෙම පද්‍යයෙන් ප්‍රකට වේ.
සෙංකඩගල නුව                  ර
ඇසළ කෙරෙන් පෙරහැ        ර
දෙවියන්ට නිසි ක                ර
පැවත ආවේ කලක සිට පෙ   ර
කප් සිටුවීම
දළදා පෙරහර ආරම්භ වනුයේ කප් සිටුවීම නම් වූ චාරිත්‍රයෙනි. මෙහි අරමුණ වනුයේ පුරාණයේ සිට කර ගෙන පැමිණ පෙරහර චාරිත්‍ර නොකඩවා ඉටු කරන බවට දෙවියන් ඉදිරියේ ‍පොරොන්දු වීමයි.
ඇසළ (ජූලි) මාසයේ අමාවක ‍පොහොයට පෙර දින සතර මහා දේවාවලට අයත් වු පිරිසක් සමග නැකත් මොහොට්ටාල එළියට නොගත් කොස් ගසක් ඉදිරියට ගොස් පුද පූජා    පවත්වා ඒ ගස කපා  දමයි. ඉක්බිතිව එම ගස කොටස් හතරකට වෙන් කරයි. ඒවා නාථ, විෂ්ණු, කතරගම  හා පත්තිනි  යන සතර මහා දේවාල සඳහා ලබා දෙයි. අමාවක ‍පොහෝ දිනයට පසුදා කප් එනම්, කොස් ගසේ කොටස් හතර සමග කොඩි, සේසත්, හේවිසි, හොරණෑ යනාදියෙන් යුතු පෙරහරකින් පැමිණ දේවා ගම්වල  තාවකාලිකව තනන ලද වහලක්  යට කප් සිටුවයි. මෙය ඉටු කරනු  ලබන්නේ වන්නකු රාළ  විසිනි. දළදා මාලිගාව  කප් සිටුවීම චාරිත්‍රයට සම්බන්ධ  නොවේ.
දේවාල පෙරහර
කප් සිට වූ දින පටන් පුරා දින පහක් පමණ කාලයක් කුඩා පෙරහර පවත්වයි. මෙය දේවාල  පෙරහර නමින් හැඳින්වේ. මෙහි දී ඒ ඒ දේවාලවලට අයත් දේව ආයුධ කප් වටා වැඩම කරවීම සිදු කරයි. මෙම පෙරහර ගමන් කරනුයේ දේවාල භූමි සීමාවේ පමණි.
කුඹල් පෙරහර
ඇතුල් පෙරහර අවසන් වී පසු දින රාත්‍රියේ  කුඹල් පෙරහර ආරම්භ වේ. ඇතුල් පෙරහරේ පස්වන දින දේවාල භූමියෙන් පිටතට වඩම්වන දේව ආයුධ රන්සිවි ගෙයක තැන්පත් කොට  ඒ ඒ දේවාලවල කාරිය කරවන රාළ මූලිකව මහ පෙරහරින්  දළදා  මාලිගාව  වෙත රැගෙන යයි. ඉක්බිතිව  දළදා කරඬුව වෙනුවට වැඩම්වන  කරඬුව සහිත දළදා මාලිගාවේ පෙරහර දේවාල පෙරහරේ පෙරමුණෙන් ගමන් අරඹයි.
මෙලෙස කුඹල් පෙරහර දින පහක් පුරා වීදි සංචාරය කරයි. කුඹල් පෙරහරට මේ නම් දී ඇත්තේ වලංකරුවෙකු වළං කදක් ගත් අතවැසියෙකු සමග පෙරහරේ ගමන් ගන්නා බැවිනි.
රන්දෝලි පෙරහර
කුඹල් පෙරහර අවසන්  වී පසුදින රාත්‍රියේ රන්දෝලි පෙරහර ආරම්භවේ. මෙහි දී සතර මහා දේවාවලට අයත් වූ දේවආභරණ වැඩමවයි. එසේම පළමු වෙඩිල්‍ලේ හඬත් සමගම සතර මහා දේවාල පෙරහර   දළදා  මාලිගාව  ඉදිරිපිටට පැමිණීම අරඹයි. ඉක්බිතිව  දළදා මාලිගාවේ පෙරහර දේවාල පෙරහරේ   පෙරමුණෙන් ගමන් අරඹයි. ක්‍රි.ව. 1775 දී එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේ සිට ඇසළ පෙරහරේ රන්දෝලි ගෙන යෑමේ කාර්යය පෙරහැරේ අවසානයට සිදු කරයි.  එබැවින් මෙම පෙරහර රන්දෝලි නමින් හැඳින්වේ.
රන්දෝලි පෙරහර ඉතා විචිත්‍රවත්ය. එසේම එය ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වයි. මේ රන්දෝලි පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජනයා මහත් වූ රුචියක් දක්වන්නේද එබැවිනි.
දිය කැපීමේ පෙරහර
රන්දෝලි පෙරහර අවසන් දිනයේ වීදි සංචාරය කොට දළදා කරඬුව රැගත් හස්තියා ප්‍රමුඛ පෙරහර  අස්ගිරිය විහාරයේ ආදාහන මළුව වෙත පිටත්ව යයි. විශේෂයෙන් නර්තන අංග කිසිවක් ඇතුළත් නොවන  මෙම පෙරහරට  තූර්ය වාදනය පමණක් ඇතුළත් වේ.  මේ අතරතුර සතර මහා දේවාල පෙරහර දේව ආභරණ  හා කප්  කණු සහිත දිය කැපීමේ චාරිත්‍රය  ඉටු කරනු වස් ගැටඹේ මහවැලි  ගං තොටු‍පොළ වෙත පිටත්ව යයි. මෙය ද කුඩා පෙරහරකි.
ඉක්බිතිව සතර මහා දේවාලවල කපු මහත්වරු සරසන ලද ඔරුවක නැගී  මහවැලි ගඟ මැද්දට පිවිස   රන් කඩුවකින් දිය වටක් අඳයි. ඊළඟට පසුගිය අවුරුද්දේ ගෙන ගිය ජලය ඉවත් කර රන් කඩුවෙන් දිය කපා කෙන්ඩියට ජලය පුරවා ගනී. ඉක්බිතිව රැගෙන පැමිණි කප් කණු සතර ජලයේ පා කර හරී.ඉක්බිතිව පැන් කෙණ්ඩිය රැගත් පෙරහර මහනුවර ‍පොලීසිය අසල පිහිටි පු‍ලේලෙයාර්  කෝවිල වෙත ගොස් එහි චාරිත්‍ර  ඉටු කොට, දවල් පෙරහර ඇරඹෙන තෙක් කෝවි‍ලේ රැඳී සිටියි.
දවල් පෙරහර
දළදා මාලිගාවේ පෙරහර අස්ගිරි මහා විහාරයේ ආදාහන  මළුව වෙතින් පිටත්වන විට සතර මහා දේවාල පෙරහර පුල්‍ලේයාර් කෝවිල අසලින් සූදානම්ව පැමිණ දළදා මාලිගාවේ පෙරහරට  සම්බන්ධවේ. ඉක්බිතිව සියලු පෙරහර එක් ව පැමිණි මාලිගා චතුරස්‍රය වටා තෙවරක්  පැදකුණු කොට දළදා මාලිගාවේ  පෙරහර දළදා මාලිගාවටත් සතර මහා දේවාලවලටත් ගෙවැදීමෙන් මේ  මහා පෙරහර මංගල්‍යය අවසන්වේ.
වලියක් මංගල්‍යයය (විලියකුන් නැටීම)
පෙරහර හා සම්බන්ධ  අවසාන චාරිත්‍රය  වනුයේ මහනුවර විශ්ණු දේවාලයේ පවත්වනු ලබන වලියක් මංගල්‍යයයි. දින හතක් පුරා පවත්වනු ලබන මෙම වලියක් මංගල්‍යය පෙරහරට සම්බන්ධ වූ නිලමේවරු ප්‍රමුඛ සියලු දෙනාටත් අලි ඇතුන්ටත් සෙත්පතා පවත්වනු ලැබේ.
ඇති‍පොළ මංගල හිමි දළුක්ගොල්ල රජමහා විහාරවාසී

No comments:

Post a Comment